Home / Editor's Choice / කරාපිටියේ PCR පරීක්ෂණ දැඩි දුෂ්කරතා මැද කෙරෙන හැටි

කරාපිටියේ PCR පරීක්ෂණ දැඩි දුෂ්කරතා මැද කෙරෙන හැටි

karapitiya hospitalකරාපිටිය ශික්ෂණ රෝහලේ පීසීආර් පරීක්ෂණ සිදුකරන වයිරස විද්‍යා ඒකකයේ අඩුපාඩු රැසක් පවතී. මේ අඩුපාඩු ඉක්මණින් සම්පූර්ණ නොකරන්නේ නම් කොරෝනා පැතිරීම වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග ගැටලුකාරී තත්ත්වයකට පත්වීමේ අවදානමක් ද ඇත.

මෙම අඩුපාඩු ඉක්මණින් සපුරාදෙන ලෙස ඉල්ලමින් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි වෙත ලිපියක් යොමුකර තිබේ.

එහි සඳහන් වන්නේ ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල දිස්ත්‍රික්කවලට මෙන්ම ඇඹිලිපිටිය හා කළුතර ප්‍රදේශවලට ද සේවා සපයන එකම වයිරස විද්‍යා ඒකකය මෙය බවයි.

මෙම ඒකකයේ ඇත්තේ පීසීආර් පරීක්ෂණ සිදුකරන යන්ත්‍ර දෙකක් පමණි. එමගින් වරකට උපරිම සාම්පල 96ක් හා 72ක් ලෙස පරීක්ෂා කිරිමට හැකියාව ඇත්තේ ජෛව සාම්පල 168ක් පමණි. එසේ වුව ද මේ වනවිට දිනකට ජෛව සාම්පල 1,000කට වැඩි ප්‍රමාණයක් ලැබෙමින් පවතී.

කොරෝනා වසංගතය මෙරට පැතිරයාමට පෙර ඩෙංගු, හෙපටයිටිස් බී, එච්අයිවී, ඉන්ෆුලුවෙන්සා, රේබීස් ඇතුළු වෛරස් රෝග සදහා පීසීආර් පරීක්ෂණ, වේගවත් පරීක්ෂණ (Rapid Test) මෙන්ම ප්‍රතිදේහ ජනක හා ප්‍රතිදේහ හඳුනාගැනීමේ පරීක්ෂණ ඇතුළත්ව සතියකට සිදුකර ඇත්තේ පරීකෂණ 500ක පමණ ප්‍රමාණයකි.

ඒ අනුව මේ දිනවල එම ඒකකයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය කලින් සතියකට කරන ලද පරීක්ෂණ සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක් එක් දිනක් තුළ කිරීමට සිදුව තිබේ.

ඒ තත්ත්වය බරපතල ගැටලු මතුකිරීමට හේතුවක් විය හැකි බව සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ වනවිට දිනකට පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල 1,000කට වැඩි ප්‍රමාණයක් ලැබුණ ද කරාපිටිය වයිරස විද්‍යා ඒකකය සතුව ඇත්තේ යන්ත්‍ර දෙකක් පමණක් පමණි. එම යන්ත්‍ර දෙකෙහි වරකට උපරිම සාම්පල 96ක් හා 72ක් ලෙස පරික්ෂා කිරීමට හැකියාව ඇත්තේ ජෛව සාම්පල 168කි. මේ එක් යන්ත්‍රයක් හෝ ක්‍රියාවිරහිත වුවහොත් ගැටලුකාරී තත්ත්වයක් උදාවන බව නොරහසකි.

කොරෝනා වසංගතය ආරම්භවීමට පෙර සාමාන්‍ය පරිදි සිදුවූ පරීක්ෂණවලට අමතරව මේ වනවිට දිනකට PCR පරීක්ෂණ 700කට වැඩි ප්‍රමාණයක් රසායනාගාරයේ දී සිදුකෙරෙන අතර එය පැය 24 පුරාම අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ දිනකට වට 6-8ක පමණ ප්‍රමාණයක් පීසීආර් යන්ත්‍ර ක්‍රියාත්මක කරවමිනි.

මේ සියල්ල සිදුකරනු ලබන්නේ එක් විශේෂඥ වෛද්‍යවරියකගේ නායකත්වයෙනි. සාමාන්‍ය තත්ත්වයන් යටතේ මෙම වෛරස විද්‍යා ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන් තිදෙනකු සිටිය යතූ වුව ද දැනට ඒකකයේ ඉන්නේ එක වෛද්‍ය නිලධාරිනියක පමණි. කෙසේ වුවත් මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් පසුගිය සතියේ සිට රෝහල් පාලන අධිකාරිය විසින් පශ්චාත් සීමාවාසික වෛද්‍යවරු දෙදෙනකු මෙම ඒකකයට රාජකාරී ආවරණ පදනම යටතේ අනුයුක්ත කර තිබීම නම් පැසසුම් කටයුතුය.

වෛද්‍ය රසායානාගර නිලධාරීන 05 හා සීමාවාසික පුහුණුවේ නිරතවන නිලධාරීන් 03 දෙනෙක් ද අමතර දීමනා කිසිවක් නොමැතිව මෙහි අඛණ්ඩව සේවයේ යෙදී සිටියි. රසායනාගාරයේ මේ දක්වාම සිටින්නේ සුළු සේවක කාර්ය මණ්ඩල නිලධාරීන් හා රසායානාගාර සහකාර නිලධාරීන් හතර දෙනකු පමණි.

අදාල සාම්පල භාර ගැනීම, තේරාගැනීම, දත්ත පරිගනකගත කිරීම, ප්‍රතිඵල වාර්තා සැකසීම, ඒවා බෙදාහැරීම ආදී සියලු කටයුතු සිදුකිරීම මේ ඉතා කුඩා කාර්ය මණ්ඩලයකින් කළ හැකි ද යන්න ගැටලු සහගතය. ඇතැම් අවස්ථාවල දී සියලු ම දෙනා කාර්ය බහුල වූ විට වෛද්‍යවරු පවා නව සාම්පල භාර ගැනීම වැනි තමන්ට අයත් නොවන රාජකාරී කටයුතු කරන ආකාරය වෛරස විද්‍යා ඒකකයේ දී දැකිය හැකිවෙයි.

එම ඒකකයේ ගොඩනැගිල්ල අදාල පර්යේෂණ කටයුතු සඳහා ප්‍රමාණවත් නොවීමේ ගැටලුවක් ද පවතී. දැනට ලැබෙමින් පවතින ජෛව සාම්පල ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් තිබෙන බැවින් වෛද්‍යවරුන්ට වෙන්කර තිබූ කාමරය ද ශීතකරණ හා උපකරණ ගබඩාකිරීම සදහා යොදාගෙන ඇත. විශේෂඥ වෛද්‍යවරියගේ කාමරයේ ද විශේෂ පරීක්ෂණ උපකරණ අටවා තිබේ. මේ නිසා වෛද්‍යවරුන්ට තම රාජකාරීවල යෙදීමට සිදුව ඇත්තේ කොරිඩෝවක මේස පුටු තබාගනිමිනි.

මෙම ඒකකයේ ඇති තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ දිනකට කොරෝනා ආසාදිත බවට තහවුරු වන සාම්පල රැසක් ද මේ ස්ථානයේ පරීක්ෂණ කටයුතු සඳහා හසුරුවනු ලබන වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට අධික වෙහෙසකර දිනක සේවාව නිමවා තම නිවෙස්වලට යද්දී පිරිසිදු වීම සඳහා අවශ්‍ය නාන කාමරයක් හෝ ඒකකයේ නොමැතිවීමයි.

පීසීආර් පරීක්ෂණ සඳහා ලැබෙන ජෛව සාම්පල පරීක්ෂණ සිදුකරන තුරු සෙල්සියස් අංශක 4ක උෂ්ණත්වයට ගබඩා කර තැබිය යුතු වුව ද ඒ සඳහා ප්‍රමාණවත් ශීතාගාර පහසුකම් මෙහි නැත. එබැවින් දෛනිකව ලැබෙන ජෛව සාම්පල ආයතනය තුළ අයිස් කැට සමග අසුරා තැබීමට සිදුව තිබේ. ක්‍රමයෙන් ඒවායේ උෂ්ණත්වය ඉහළ යන විට පීසීආර් සඳහා යොමුවන ජෛව සාම්පලවල පරීක්ෂණයේ ගුණාත්මක බාවය වෙන ම ප්‍රශ්න කළ යුතුය. ඊයේ (30) වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛරස විද්‍යා ඒකකයේ ගොඩගැසී තිබූ ජෛව සාම්පල ප්‍රමාණය 2145කි. අද (31) වනවිට ඒ ප්‍රමාණය තවත් ඉහළ ගොස් තිබීමට ඉඩ ඇත.

සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම ඒකකය සඳහා අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදෙන ලෙසත් කාර්ය මණ්ඩලය දිරිමත් කරන ලෙසත් ඉල්ලා සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි වෙත යැවූ ලිපියේ ප්‍රධාන කරුණු අටක් සඳහන් කර ඇත.

  1. කොවිඩ් වසංගතයේ ඉදිරි තත්ත්වය සළකා බලමින් අවශ්‍යතා අනුව ඉඩකඩ සහිත නව ගොඩනැගිල්ලක් ලබාදීම හෝ රෝහල තුළ සුදුසු කාමර කිහිපයක් ලබාදීම
  2. අවම වශයෙන් තවත් පීසීආර් යන්ත්‍ර දෙකක් හෝ ලබාදීම
  3. පරීක්ෂණ කට්ටල නිතිපතා අඛණ්ඩව සැපයීම
  4. අවම වශයෙන් වෛද්‍යවරුන් දෙදෙනකු, වෛද්‍ය රසායානගාර කාර්මික නිලධාරීන් තිදෙනකු, සුළු සේවා කාර්ය මණ්ඩලය සඳහා හතර දෙනෙක්, පරිගණක ක්‍රියාකරුවන් දෙදෙනෙක් මෙම ඒකකය සඳහා අනුයුක්ත කිරීම
  5. ශීතකරණ හා අත්‍යාවශ්‍ය උපකරණ අවශ්‍ය ප්‍රමාණයට සපයාදීම, සාම්පල අවශ්‍ය උෂ්ණත්වය යටතේ පවත්වාගෙන යාම ප්‍රතිඵල සඳහා බලපාන බැවින් මෙය ඉතා කඩිනමින් කළ යුතුය.
  6. කාර්ය මණ්ඩලය දිරිමත් කිරීම සඳහා දිරි දීමනාවක් ලබා දීම
  7. පුද්ගලික ආරක්ෂණ උපකරණ අවශ්‍ය තරම් සැපයීඹ
  8. මෙම කාර්ය මණ්ඩලයේ කවරකු හෝ කොරෝනා ආසාදනය වුවහොත් සේවයේ යෙදවීම සඳහා අමතර කාර්ය මණ්ඩලයක් පුහුණු කිරීම

එම කරුණු වෙයි. සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම ලිපියේ පිටපත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්.මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වෙත ද යොමුකර තිබේ.
(rata.lk)

About freddy

Check Also

Tali-2020.10.31

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ආ ගිය ටෙලිනාට්‍ය සමීක්ෂකයින් නිරෝධායනයට!

පසුගිය දිනවල ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට බාහිරින් පැමිණි ටෙලිනාට්‍ය සමීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනකුට පමණ තම තමන්ගේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *