Home / Business / අපනයන ආර්ථිකයේ අනාගතයට කුරුඳු කර්මාන්තය රැකගනිමු

අපනයන ආර්ථිකයේ අනාගතයට කුරුඳු කර්මාන්තය රැකගනිමු

ලෝක වෙළඳපළේ මේ වන විට අපනයන කෘෂිබෝග බොහොමයක් විශාල අභියෝගයකට ලක් වී තිබෙන අතර මිල අඩුවීම ප්‍රධාන ගැටලුව බවට පත්ව තිබෙන බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ . පී. හීන්කෙන්ද මහතා පවසයි.

මෙවැනි ගැටලු හා අභියෝග පැවතිය ද වියට්නාමය , තායිලන්තය වැනි රටවල් සිය අපනයන ආදායම දෙගුණ කරගෙන තිබෙන බවද ඒ සඳහා ඔවුන් කුළුබඩු ආශ්‍රිත අගය එකතු කළ නව නිෂ්පාදන වෙළඳපළට හඳුන්වා දී ඇති බවද හෙතෙම සඳහන් කරයි.

පසුගිය වර්ෂයේ අප රටේ අපනයන කෘෂිබෝග හෙවත් කුළුබඩු බෝග අපනයනයෙන් 55%ක් උපයාගෙන තිබෙන්නේ කුරුඳු අපනයනයෙන් බව සඳහන් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් කුරුඳු කර්මාන්තය රැකගත යුතු බවද ප්‍රකාශ කළේය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා එසේ සඳහන් කළේ පසුගිය දා මාතර සමන්මල් හෝටලයේ පැවැති ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය මඟින් සංවිධානය කර තිබු ” කුරුඳු අරුණ” වැඩමුළුව හා ප්‍රදර්ශනය අමතමිනි.

කුරුඳු ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන පිළිබඳ දැනුවත් කිරීම සඳහා කුරුඳු කර්මාන්තයේ යෙදෙන වගා කරුවන් හා නිෂ්පාදකයින් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන පවත්වන ලදී. කුරුඳු කර්මාන්තයේ සියළු පාර්ශවකරුවන් එකම වේදිකාවකට ගෙනවිත් වර්තමානයේ කර්මාන්තයේ පවත්නා ගැටලු හා යෝජිත විසඳුම් සංවාදයට ලක් කරමින් නව දිශානතියකට යොමු කිරීම මෙම කුරුඳු අරුණ වැඩසටහනේ අරමුණ බවද හීන්කෙන්ද මහතා පැවසීය. කුරුඳු කර්මාන්තය මුහුණ දී තිබෙන ගැටලුවලට විසඳුම් ලෙස කාබනික ගම්මාන වැඩසටහන, GAP හෙවත් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් වැඩසටහන, කුරුඳු කර්මාන්තයේ නියැළෙන පාර්ශ්වකරුවන් සඳහා සම්මන්ත්‍රණ හා වැඩමුළු මෙන්ම අලෙවි ප්‍රචාරක වැඩසටහන් ද ක්‍රියාවට නංවා තිබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් පැවසීය. කුරුඳු අරුණ වැඩමුළුවේ ප්‍රධාන දේශනය රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුදාස් වන්නිආරච්චි මහතා පැවැත්වීය.

මෙම අවස්ථාවට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පර්යේෂණ) ඒ.පී. පී දිස්නා , අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ශාන්තා සෙනෙවිරත්න, ජාතික කුරුඳු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය ඩී . එන්. සමරවීර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් හා කුරුඳු ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.

dinamina.lk

About freddy

Check Also

186504640_10209273896281204_4998589960362731294_n

බියෙන් පසුවන ඔබට සේවය කිරිමට මාතර සමුපාකාර රෝහලත් දැන් සුදානම් ..

කොරෝනා ඔබ පරික්ෂා කරන්න අපි සූදානම්..සමුපකාර රෝහල් ජංගම ප්‍රතිකාර සේවාව දැන් ක්‍රියාත්මකයි…. ඔබ කොරෝනා ආසාදිත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *