Home / Articles / මාධ්‍යවේදීන් අමාරුවේ වැටෙන හැටි.

මාධ්‍යවේදීන් අමාරුවේ වැටෙන හැටි.

FB_IMG_1587095928101

( 9.30am ) මාධ්‍යවේදීන්ට නිතරම සිදුවෙන්නේ අනිත් අයගේ ප්‍රශ්න ගැන කතාකරන්න.
නමුත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න ගැන කතාකරන්න කිසිම කෙනෙක් නැහැ. අඩුම ගණනේ මාධ්‍යවේදීන්වත් තමන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ.
මාධ්‍ය සංවිධාන මේවා ගැන විටින් විට කතා කරන්න කොතෙක් උත්සාහ ගත්තත් මගේ පුද්ගලික මතයනම් මාධ්‍ය ආතනවල තිබෙන බලපුළුවන්කාර කම හින්දා බොහෝ මාධ්‍යවේදීන් තමන්ගේ ප්‍රශ්න කතාකරන සමූහ අවස්ථාවලට එකතු වෙන්නේ නැහැ. නැතිනම් ඒවා මගහැර යනවා. ඒ තුළින් පෙනෙන්නේත් ඔවුන්ගේ අසරණකම කියලයි මගේ අදහස.
මාධ්‍යවේදීන් විවිධ කොටස්වලට වෙන් කළ හැකියි. ප්‍රධාන වශයෙන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ලෙස දැන් අලුත් ‍කණ්ඩායමක් බිහිවෙලා ඉන්නවා නූතන ධාරාවේ මාධ්‍ය කටයුතුවල නිරතවන වෙබ් මාධ්‍යවේදීන්. (තාක්ෂණය දන්නා පමණින් වෙබ් කරන අය මාධ්‍ය වෘත්තිකයන් කියා හඳුන්වනවාට මම එකඟ නැහැ) අනෙක් ආකාරයට අපට මාධ්‍යවේදීන් වර්ග කළ හැකියි. ආයතනගත මාධ්‍යවේදීන් (ස්ථිර වැටුපක් හෝ කොන්ත්‍රාත් නිසා දීමනාවක් ලබන), ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ නිදහස් මාධ්‍යවේදීන් (ආයතනගතවත් ඉන්නවා)
දැන් මේ හැමෝම අවධානමේ. වෘත්තීය වශයෙන් ඉතාමත්ම අවධානම් තත්ත්වයක තමයි ඉන්නේ.
මම මේ ආකාර සියල්ලේම කටයුත් කර තිබෙනවා. කිසිම ආකාරයක් මට මඟ හැරී නැහැ. ඒ වගේම සියලුම මාදිලියේ මාධ්‍යවල වැඩ කරලා තියෙනවා. ඒ නිසා මා හොඳින්ම දන්නවා මාධ්‍යවේදීන් වන අපේ වෘත්තීය සඟයන් කොයිතරම් අනාරක්ෂිත ද කියලා. මේ තමයි මාධ්‍ය කර්මාන්තයේ ස්වභාවය.
මාධ්‍ය කර්මාන්තය කියන්නේ තනිකරම ප්‍රාග්ධනය මත පවතින දෙයක්. හිමිකරුවන්ගේ අදහස ලාභයක් ලැබීම. නමුත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන ඇත්තටම ලාභ ලැබිය නොහැකි ආයතන බවට පත්වෙලා. ඔවුන් මේවා පවත්වාගෙන යන්නේ තමන්ගේ වෙනත් ව්‍යාපාරවලින් සල්ලි පොම්පකරලා. ඇයි එහෙම සේවයක් පවත්වාගෙන යන්නේ කියලා බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ වෙනත් අරමුණු සහ අපේක්ෂාවන් වෙනුවෙන්. එය මෙතැන කතා කරන්න අවශ්‍ය නැහැ. අපි ඒ ගැන ඕනෑ තරම් කතා කරලා තියෙනවා.
පත්තර ක්ෂේත්‍රය ගත්තත් මේ ක්ෂේත්‍රයත් ලාභ ලැබීම ඉතා අපහසු කර්මාන්තයක්. දැන්වීම් නැත්නම් පත්තර අළෙවියෙන් කවදාවත් පුවත්පත් ආයතනයක් පවත්වාගෙන යන්න බැහැ.
දැන් මොකක් ද වෙන්නනේ බලන්න රූපවාහිනී නාලිකා. බලන්න මේ දවස්වල ඉඳ හිට හෝ ඔබ අතට පත්වන පුවත්පත් සහ E-Papers ඒවායේ දැන්වීම් නැහැ. ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ ම කර්මාන්ත ක්ෂේත්‍රය අළෙවි ක්ෂේත්‍රය කඩා වැටිලා. පත්තර ගත්තු මින්ස්සු පත්තර ගන්නේ නැහැ. පත්තරවලට තිබුණු වෙළෙඳ පොළ ‍මේ දිනවල අහිමිවෙලා. ඉදිරියේ දී ඒ වෙළෙඳ පොළ හදාගන්න ටික කාලයක් ගත වේවි.
දැන් කවුද අමාරුවේ වැටෙන්නේ. ඉස්සෙල්ලාම අමාරුවේ වැටෙන්නේ පත්තරවල ඉන්න ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ නිදහස් මාධ්‍යවේදීන්. නිදහස් මාධ්‍යවේදීන්ට ගෙවන්නේ තමන් ලියන ප්‍රමාණයට. එය ඇතැම්විට ප්‍රාදේශීය මාධ්‍යවේදියකුට ලැබෙන මුදලට වඩා වැඩි මුදලක් විය හැකියි. නමුත් පුවත්පතකට දැන්වීම් නොලැබෙන විට මුලින්ම කැපී යන්නේ ඒ අයගේ ලිපි. කිසිම කතාවක් නැතිව ඔවුන්ගේ මාසික ආදායම අහිමිවෙනවා.
ඊළඟට ප්‍රාදේශීය මාධ්‍යවේදීන්. දැන් පත්තර මුද්‍රණය වන්නේ නැහැ. එන්නේ E-Paper මේවායේ පිටු ගණන අඩුවෙලා. කිසිම දැන්වීමක් නැහැ. බලන ප්‍රමාණයත් අඩුයි. මේ දවස්වල ඇති ප්‍රවණතාව නිරීක්ෂණය කළාම මම දුටු දෙයක් තමයි ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ප්‍රවෘත්තිවලට ඇත්තේ ඉතා අඩු ඉඩක්. බොහෝවිට ජාතික ව්‍යසනයක් නිසා මේ ඉඩ ඇත්තේම නැති තරම්. ඉතින් මීට පෙර මාසවල දී මාස අන්තිමට තමන්ගේ බෙහෙත් ටික ගන්න, ගෙදර දොර කන්න අදින්න, දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට පත්තරවලට ලියලා කීයක් හරි සොච්චම් මුදලක් හොයාගත්තු ඇත්තටම පත්තර රස්සාවෙන් ජීවත් වෙච්ච ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කවුරුන් මොනවිදියට අර්ථකථනය කළත් දැන් අමාරුවේ වැටිලා.
නමුත් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අතර විදුහල්පතිවරු, රජයේ වෙනත් නිලධාරීන්, ක්‍ෂේත්‍ර නිලධාරීන්, ගුරුවරු පවා ඉන්නවා. ඒ අය මාධ්‍ය රස්සාව කළේ අමතර ආදායමක් හැටියට. මම ඒ අය අමාරුවේ වැටිලා කියන්නේ නෑ. නමුත් වැඩි දෙනෙක් ජීවත් වුණේ ඒකෙන්.
තවත් කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඇයි හැම පත්තරයකම වෙබ් එකක් තියෙනවානේ කියලා. ඔව් වෙබ් එකක් තියෙනවා. නමුත් වෙබ් අඩවියක පුවතක් පළ වුනාම ඒකට ගෙවන්නේ මාධ්‍ය ආයතන කීයකින් ද ? හැමෝගේම ප්‍රවෘත්ති මේ වෙබ් එකට දානවා ද ? ඇතැම් දිස්ත්‍රික්කවල වෙබ් අඩවියකට ප්‍රවෘත්ති සපයලා කීයක් හරි හොයාගන්න හැකියාව තියෙන මාධ්‍යවේදීන් ඉන්නේ එක්කෙනයි දෙන්නයි. මුළු ලංකාවේම 200ක්වත් නැතිව ඇති.
ගුවන් විදුලි මාධ්‍යවේදීන් මේ වගේම අසරණයි. ඇයි ඒ කොහොමත් ඒ අයට එක ප්‍රවෘත්තියකට ගෙව්වේ රු. 50.00 ක් වැනි අදහන්නත් ‍අමාරු සොච්චම් මුදලක්. දැන් ගුවන් කාලයෙන් වැඩි ප්‍රමාණයක් වෙන් වෙන්නේ සෞඛ්‍ය අංශවල, හමුදා ප්‍රධානීන්ගේ සහ රජයේ ජනාධිපති අගමැති ඇතුළු අයගේ ප්‍රවෘත්තිවලට කොරෝනා නිසා ප්‍රාදේශීයව ප්‍රවෘත්ති ලබාගන්න හැකියාවක් නැහැ වගේම ප්‍රාදේශීය ප්‍රවෘත්තිවලට ඉඩක් දෙන්න ආයතනවලටත් හැකියාවක් නැහැ.
තවත් කෙනෙක් නගන්න පුළුවන් තර්කයක් තියෙනවා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පත්තර කිහිපයකට ලියනවා කියලා. ඔව් බොහෝ දෙනෙක් එහෙම කරනවා. නමුත් මේ මාධ්‍යවේදීන්ම දන්නවා තමන්ට මුදල් ලැබෙන්නේ මොන මොන පත්තරවලින්ද කියලා. මම ලංකාදීප පුවත්පතේ ගාල්ල ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස කලක් කටයුතු කළ නිසා මම දන්නවා අපේ පත්තරෙන් නම් නිශ්චිත දවසට මුදල් ලැබුණා හැමදාමත්. නමුත් අනිත් ආයතනවලින් අපේ සහෝදර සඟයන්ට ලැබෙන්නේ ඉඳහිට එපා වාහෙට හොදි බෙදන්න වගේ සොච්චම් මුදලක්.
දැන් මේ ප්‍රශ්නය තියෙන්නේ පත්තරකාරයන්ට පමණයි ද ?
මා දුටුවා අපේ කොළඹට තදාසන්න ප්‍රදේශයක් කේන්ද්‍රගතව සිටින මාධ්‍යවේදී BK Kathri Arachchi සහෝදරයා අදහසක් ප්‍රකාශ කර තිබුණා ඔහු රුපියල් 5000.00 රජයේ දිමනාව ප්‍රතික්ෂේප කරනවා වගේම එය වර්ජනය කරමු කියලා. ඒක බොහොම අදීන ප්‍රකාශයක්. මගෙත් අදහසක් තියෙනවා මාධ්‍යවෘත්තිය මුදලට පාවා දිය යුතු නැහැ කියලා. නමුත් මේක සාමාන්‍ය අවස්ථාවක් නොවන නිසා මේ රුපියල් 5000.00 දීමනාව ලබා දෙන්න කියා ඩලස් අලහප්පෙරුම ඇමතිවරයාගෙන් මුලින්ම ඉල්ලා සිටියේ මාතර මාධ්‍යවේදියෝ සංවිධානය. ඒ සංවිධානයේ ඉතාමත්ම වැදගත් විදියට, තමන්ගේ වෘත්තිය ගරුත්වය ආරක්ෂා කරමින් නිරන්තරව මාධ්‍යකරණයේ යෙදෙන අපේ සහෝදර මාධ්‍යවේදීන් ඉන්නවා. ඔවුන් මේ ඉල්ලීම කළේ සියලුම මාධ්‍යවේදීන් වෙනුවෙන්. කත්‍රිආරච්චි සහෝදරයාගේ යෝජනාවට මාධ්‍යවේදීන් කිහිප දෙනකු වගේම මාධ්‍යවේදීන් නොවන අයත් සිය ප්‍රසාදය පළකරලා තිබුණා. නමුත් මට ඊයේ කතා කළා එක්තරා පුවත්පතක ආයතනගත නිදහස් මාධ්‍යවේදියෙක්. ඔහු පුවත්පතක කර්තෘ මණ්ඩලයක ඉහළ නිලයක් ද දරපු මහත්මයෙක්. එයා මට විනාඩි 48ක් පුරා කිව්වේ මාධ්‍යවේදීන් මුදල් නැතිව අසරණ වෙලා ඉන්න හැටි. එතුමාට මේ මාසේ තමන්ගේ පත්තරෙන් සතයක්වත් ලැබිලා නැහැ. හදවත් සැත්කමක් කරලා ඉන්න මේ ‍මහත්මයාට බෙහෙත් ගන්න මාසයකට රුපියල් 15,000ට ආසන්න මුදලක් වැය වෙනවා. ඔහු මගෙන් ඉල්ලා සිටියේ රුපියල් 5000.00 දීමනාව ගන්න ක්‍රමය සොයා දෙන්න කියලා. ඔහු විතරක් නොවෙයි මා දන්නා කියන බොහෝ මාධ්‍ය‍වේදීන් මේ රුපියල් 5000.00 දීමනාව ලැබෙනතුරු බලාගෙන ඉන්නවා.
ඇත්තටම කත්‍රිආරච්චි සහෝදරයා කියන විදියට මාධ්‍යවේදීන්ට සැළකිය යුතු ආදායමක් ලැබෙනවා ද ? ඔහු කියනවා තමන්ට තම ආයනනය හොඳින් සළකනවා කියා. මා මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මට ඒකට අයිතියක් තිබෙනවා කියා මා හිතනවා. ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකාවක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වූ මම ඉන් පසු නාලිකාවක ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස කටයුතු කිරීමේ අත්දැකීම තියෙනවා.
කත්‍රිආරච්චි සහෝදරයා ජීවත්වන කොළඹ හා කොළඹට තදාසන්න ප්‍රදේශවල සිටින රූපවාහිනී වාර්තාකරුවෙක් හා ප්‍රා‍දේශීයව ග්‍රාමීය ප්‍රදේශවල සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් ලබාගන්නා දීමනා අහසට පොළොව වගේ වෙනවා. කොළඹ රූපවාහිනී මාධ්‍ය ආයතන බොහොමයක් මාධ්‍ය සාකච්ඡා, දේශපාලන අදහස් ගැනීම, විද්වතුන්ගේ අදහස් ගැනීම වගේ දේවල් කරගන්නේ කොළඹ ආසන්නයේ ඉන්න වාර්තාකරුවන්ගෙන්. ඒ නිසා ඔවුන්ට දිනකට ප්‍රවෘත්තියක් කරගැනීමට ලැබෙන අවස්ථාව වැඩියි. ඇතැම් අය දිනකට ප්‍රවෘත්ති තුන හතරක් කරනවා. ඒ අය වැඩ කරන්නෙත් එක නාලිකාවකට නෙවෙයි. නාලිකාවකින් එවැනි ප්‍රවෘත්තියකට ගෙවන මුදල රුපියල් 1000-3000 දක්වා වෙනස් වනවා. අපි හිතමු අවම මුදල 1000යි කියලා. එක නාලිකාවකින් පුවත් හතරකට 4000ක් ලැබෙනවා. නාලිකා තුනකට මේ පුවත් ටික කරන්නේ නැතිව දෙකකට කළා කියලා හිතුවොත් දවසක ආදායම රුපියල් 8000යි. දවස් 30ම වැඩ නොකර දවස් 20ක් වැඩ කළොත් ආදායම රුපියල් 160,000යි. නමුත් ඇත්තටම මේ තරම් මුදලක් ලැබෙන්නේ නැහැ. නිවුස් කරපු පලියට ඒවා යන්නේ නැති නිසා. ගියත් ගෙවන්නේ නැහැ. ගොඩක් රූපවාහිනී නාලිකා පවා මුදල් ගෙවන්නේ එපා වාහෙට හොදි බෙදන්න වගේම තමයි. නමුත් කොළඹ කේන්ද්‍රීය රූපවාහිනී වාර්තාකරුවෙකුට රුපියල් 100,000ක් මහන්සිවෙලා හොයාගන්න බැහැ කියනවානම් මම කරලා පෙන්වන්නම් . ඒ වැඩේ කරන්න පුළුවන්.
නමුත් ගාල්ල, මාතර, මොනරාගල වගේ පැතිවල ඉන්න රූපවාහිනී වාර්තාකරුවෙකුට ඇතැම් විට සතියකටම තියෙන්නේ ප්‍රවෘත්ති දෙකයි තුනයි. ඉතින් ඔවුන්ට මේ වගේ උපයන්න පුළුවන් ද ? තවත් ප්‍රශ්නයක් තියෙනවා. ගෝලීය වසංගතය ලංකාවට ආපු අවස්ථාවේ ම රජය නිවේදනය කළා මාධ්‍ය වාර්තා කළ යුතු සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ‍ජාතික කාර්ය සාධක බළකාය ලබාදෙන ප්‍රවෘත්ති විතරයි කියලා. ඒවා ලැබෙන්නේත් කොළඹ ඉන්න අයට.
මේ වගේ තවත් අවස්ථා තියෙනවා. බලන්න පසුගිය ජනාධිපිතවරණය. කොළඹ කේන්ද්‍ර කරගත්තු මාධ්‍ය සාකච්ඡාවලින් රූපවාහිනී නාලිකාවල ගුවන් කාලය පිරී ගියා. ඒවා ආවරණය කිරීමේ අවස්ථාව කොළඹ වාර්තාකරුවන්ට ලැබුණා. නමුත් ප්‍රාදේශීය වාර්තාකරුවන්ට වැලේ වැල් නැතිවුණා. මේ තමයි මාධ්‍ය කලාවේ යථාර්ථය.
දැන් ඇත්තටම රූපවාහිනී නාලිකාවල ඉන්න අයට ප්‍රශ්නයක් නැද්ද ?
නෑ එහෙම කියන්න බෑ. ඒ අයටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. රූපවාහිනී නාලිකාවල ඇතුලේ ඉන්න ආයතනගත මාධ්‍යවේදීනට අප්‍රේල් මාසයේ බෝනස් එක ලැබුණේ නැහැ. ඔවුන්ගේ වැටුප් පවා දැන් තියෙන්නේ අවදානම් තත්ත්වයක. ඒ විතරක් නෙවෙයි දැනටමත් රූපවාහිනී නාලිකාවලට දැන්වීම් නැහැ. ඒ නිසා කොච්චර වැඩ කළත් මාස ගණනක් යනකන් ඒ වැඩ කරන ඒවායේ මුදල් නොලැබීමේ අවධානමක් තියෙනවා. (දැන් ගෙවන්නෙත් මාස තුන හතරක් පරක්කුවෙලා)
දැන් කොරෝනා වයිරසය නිසා සමස්ථ මාධ්‍ය කර්මාන්තය කඩා වැටෙමින් තිබෙන්නේ. ප්‍රාග්ධනය මත පදනම් වූ ව්‍යාපාර මෙවැනි අවස්ථාවක කඩා වැටීම සාමාන්‍ය දෙයක්. නමුත් මාධ්‍ය වෘත්තිය මේ සියල්ලටම වඩා අනාරක්ෂිතයි. තමන්ට ලැබෙන සොච්චම් දීමනාව මදි කියලා කාටවත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවත් හැකියාවක් නැති වෘත්තියක් මේ. ඒ වගේම වැඩිය කෑ ගැහුවොත් ඕනෑම මොහොතක ප්‍රධානීන්ගේ උදහසට ලක්වී කැපී යා හැකි නිසාත් ඒවාට හේතු කියමින් යළි සාධාරණය බලාපොරොත්තු විය නොහැකි නිසාත් කවුරුත් කට වහගෙන තමන්ගේ වැඩක් කරගෙන ඉන්න වෘත්තියක් මේක.
මේ සටහන ගොඩක් දිග වැඩි වුණත් මේ ගැන ලිව්වේ මාධ්‍ය වෘත්තිය කියන්නේ මාර පින් රස්සාවක් කියා හිතාගෙන ඉන්න බාහිර පුද්ගලයන්ගේ දැනගැනීමටත් ඇත්තමට සියලු දුක්ඛ දෝමනස්සයන් ඉවසාගෙන රටත් ජනතාවත් වෙනුවෙන් කැපවී සිටින සැබෑ මාධ්‍ය සඟයන් වෙනුවෙනුත් යමක් ලිවිය යුතු නිසා.
අපිට වීරයන්‍ වෙන්න පුළුවන්. උදාන වාක්‍ය ප්‍රකාශ කළ හැකියි. නමුත් යථාර්ථය එයම නොවෙයි. මේක හරියට මුඩු වෙච්ච කේක් එකක් අයිසින් දාලා ගත්තා වගේ වෘත්තියක්.
ඒ නිසා මේ වෙලාවේ අපි අපේම සඟයන් වෙනුවෙන් පෙනී සිටිය යුතුමයි.

සජීව විජේවීර

About freddy

Check Also

image_7655e8db3f

විදුලි සැර වැදුන තරුණයෙක් ජීවිතක්ෂයට

සිය ලොරි රථයේ ගමන් කරමින් සිටියදී විදුලිසැර වැදීමෙන් ගල්පොත්තයායේ පදිංචිව සිටි 33 වැනි වියේ පසු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *