Home / Interviews / ඔබ දැන් සජිත්වාදියෙක්ද?

ඔබ දැන් සජිත්වාදියෙක්ද?

Mangala-Samaraweera-07“සජිත් ප්රේමදාස එක්ක මගේ ප්රශ්න ගොඩක් තිබුණා.නමුත් රජය පිහිටුවායින් පසුව එතුමා ඇත්තෙන්ම “පුදුම වැඩකාරයෙක් බව මා දැක්කා”.– මංගල සමරවීර

ඔබ දැන් සජිත්වාදියෙක්ද?

නෑ. මං මානවවාදියෙක්. හැමදාම මගේ දේශපාලන වටිනාකම් රැඳී තිබෙන්නේ මානවවාදී දේශපාලනඥයෙක් හැටියට. විශේෂයෙන්ම ප්රජාතන්ත්රවාදය, සංහිඳියාව සහ සංවර්ධනය කියන තේමා තුන තමයි මගේ මුළු දේශපාලන ජීවිතය තුළ අනුගමනය කරන්නේ. මම සජිත්වාදියෙක් නොවේ. ඔබ එය අහපු එක හොඳයි.

නමුත් ඔබ සජිත් ප්රේමදාස නම ඉදිරියට ගෙනයමින් සිටින පෙර ගමන්කරුවෙක්?

අපි තවත් මැතිවරණයකට දැන් සූදානම් වෙමින් ඉන්නේ. ඉතාමත් තීරණාත්මකම මැතිවරණයක්. 2015දී එදා ඒකාධිපති වියරුවෙන් තිබූ රාජපක්ෂ පවුල් පාලනය පරාජය කිරීමට මෛත්රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා කළා. නමුත් 2020 මැතිවරණයේදී ඇත්තටම අපට තිබෙන අභියෝගය තමයි රටට ලබාදුන් ප්රජාතන්ත්රවාදය, සංහිඳියාව හා සංවර්ධනය ඒ ආකාරයට රැකගනිමින් යළිත් ෆැසිස්ට්වාදී අන්ධකාරයකට මේ රට යන්න නොදී ඉදිරියට ගෙන යෑම. දෙවැනි අභියෝගය ප්රබලයි. අවුරුදු 25කට අපිට අපේ ජනාධිපතිවරයෙක් හිටියේ නෑ කියලා එජාපය කියනවා. ඒ නිසයි සජිත් ප්රේමදාස මහතා ඊළඟ ජනපති අපේක්ෂකයා කියන අදහසේ මා ඉන්නේ.

මේ මොහොතේ ඔබේ ප්රතිපත්තිද වෙනස් වුණේ? එහෙම නැතිනම් සජිත් ප්රේමදාස මහතාගේ ප්රතිපත්තිද වෙනස් වුණේ?

ඇත්ත වශයෙන්ම මගේ ප්රතිපත්ති වෙනස් වෙලත් නෑ. මම විශ්වාස කරනවා සජිත් ප්රේමදාස මැතිතුමාගේ ප්රතිපත්ති වෙනස් වෙලත් නෑ කියලා. මොකද සජිත් ප්රේමදාස එක්ක මගේ ප්රශ්න ගොඩක් තිබුණා. නමුත් රජය පිහිටුවායින් පසුව එතුමා ඇත්තෙන්ම පුදුම වැඩකාරයෙක් බව මා දැක්කා. නිහඬව, ලොකු බයිලා කතා නොකර, ලොකුවට බෙර නොගහා නිහඬ වැඩකොටසක් කරගෙන යනවා.

විශේෂයෙන්ම ඒ වැඩ කොටසේ තරම මට තේරුණේ මුදල් ඇමැති ලෙස මා වැඩ කරනකොට. අපි එතුමාට මුදල් අමාත්යාංශයෙන් ලබාදෙන හැම සතයක්ම මේ රටේ සාමාන්ය ජනතාව වෙනුවෙන් වියදම් කරනවා. එතුමාගේ පවුලෙන් එන පන්නරයකුත් වෙන්න ඇති.

සියල්ලට වඩා මේ මොහොතෙදී රටේ ජනතාව පමණක් නොවේ පක්ෂයේ බහුතරය ඊළඟ ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉල්ලන්නේ සජිත්. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ රනිල් වික්රමසිංහ මහතා එළවන්න කියා.

මම ඔබෙන් ඒ ප්රශ්නය වෙනත් විධියකට අහනවා. ඔබ සෘජුවම උත්තරයක් දෙන්න. කොහොමද අගමැති රනිල් වික්රමසිංහ මේ මොහොතෙදි අපේක්ෂකකමට නුසුදුසු වන්නේ?

නුසුදුසු වීමක් නොවෙයි.

එහෙනම් සජිත් ප්රේමදාස ඉදිරියට එන්න බැහැනේ ඇමැතිතුමා?

එහෙම නොවේ. රනිල් වික්රමසිංහ කියන්නේ මම ඉතාමත්ම ගරු කරන ආදරය කරන දේශපාලන චරිතයක්. මම එජාපයට එන්න හේතු වුණේ රනිල් වික්රමසිංහ මහතා සහ ඔහුගේ දර්ශනය. එතුමා ඉතාමත් අමාරු වෙලාවේ මේ පක්ෂය ආරක්ෂා කළා. එතුමා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වගේ දැවැන්ත දේශපාලන චරිතයක්. සිරිමාවෝ මැතිනියට දැන් වයසයි. ඔය ආච්චි ගෙදර යන්නේ නැද්ද කියද්දී එතුමිය නිවැරැදි මොහොතේ නිවැරැදි පුද්ගලයා මතුවන තුරු පක්ෂය නායකත්වය අත්හැරියේ නැත්තේ, දිගින් දිගටම පරාජය වෙද්දිත් එතුමිය එහෙම කළේ පක්ෂයට තිබූ ආදරය නිසා. අපිට ඒක කියලා තියෙනවා.

චන්ද්රිකා මැතිනියගේ ඉස්මතු වීමත් සමඟ එතුමිය ඒ පරිවර්තනය කළා. ඒ වගේ තමයි අද රනිල් වික්රමසිංහ මැතිතුමා. කවුරු මොනවා කිව්වත් මේ තරම් කාලයක් බැනුම් අහ අහා පක්ෂය ආරක්ෂා නොකළා නම් 2015දී රටේ පාලනයට එන්න එජාපයක් ඉතිරි වෙන්නෙ නෑ. අදටත් පක්ෂයේ අය එතුමාට ආදරෙයි. ජනතාව දැන් ඉල්ලන්නේ ඒ පරිවර්තනය. තමන්ගේ වුවමනාව වෙනුවෙන් එතුමා වටේ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා. සජිත් භීතිකාවෙන් පෙළෙන දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා.

එක්සත් ජාතික පක්ෂයෙද?

ඔව් පක්ෂයේම. ඒ වටේ ඉන්නේ එතුමාට තියෙන ආදරේට හෝ ගෞරවයකට නොවේ. තමන්ගේ තියෙන ආත්මාර්ථකාමී පරමාර්ථය වෙනුවෙන් පක්ෂය පරාජය වුණත් කමක් නෑ සජිත් එන එක නවත්තන්න ඕනෑ කියන පිරිසකුත් ඉන්නවා. අන්න ඒ පිරිසෙන් තමයි අපි පක්ෂය බේරාගන්න ඕනෑ.

සජිත් ප්රේමදාස ගම් මට්ටමින් යම් පදනමක් තහවුරු කරගෙන ඇති බව පෙනෙනවා.

නමුත් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහුට නාගරික පැලැන්තියේ පදනමක් ගොඩනැඟී නැහැ නේද?

එහෙම නම් කවුරුවත් නොදන්න ඇමැතිවරයෙක් ලෙසවත් ඒ තරම් කැපී නොපෙනුණු මෛත්රිපාල සිරිසේන මැතිතුමා වගේ කෙනෙක් රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්වුණා නම්, මම නම් හිතන්නේ ඔය මධ්යම පන්තිය නෑ, මේක නෑ කියලා නිතර කියන දේ තමයි මං කියපු ඔය පිරිස චෝදනා කරන්නේ. ආසනේ දිනන්නෙ නැතිව කොහොමද ජනාධිපතිවරණයක් දිනන්නෙ කියලා කියනවා.

එතැන යම් තර්කයක් තිබෙනවා නේද ඇමැතිතුමා?

ඉන්න, මං කියන්නම්. ඒක තමයි සජිත්ගේ තියෙන සුවිශේෂී සුදුසුකම මං හිතන්නේ. මොකද සජිත් ප්රේමදාසටත් ඕනෑනම් තමන්ගේ පියා දශක ගණනාවක් හිටපු මැද කොළඹ අසුනේ වැජඹෙන්න තිබුණා. ඒක පියාගේ ආසනේ. තරුණ කාලේ ඒ ආසනේ භාරගන්න කියලා පක්ෂයෙනුත් කිව්වා. නමුත් ඒකත් එපා කියලා ලංකාවේ තියෙන දුෂ්කරම, දුප්පත්ම දිස්ත්රික්කය තෝරා ගත්තා.

දෙවැනි කරුණ, ලංකාවේ දේශපාලනය කරන්න අමාරුම දිස්ත්රික්කය. රාජපක්ෂලා ඔය හම්බන්තොට දේශපාලනයට ආපු දවසේ ඉඳන් මැර බලයෙන් හා වෙනත් බලහත්කාරයෙන් දේශපාලනය කරපු දිස්ත්රික්කයක්. ඔක්කොම තියෙද්දී සජිත් හම්බන්තොට භාර ගත්තා. රාජපක්ෂ පවුලට කළ සේවයට වඩා සජිත් ඒ හම්බන්තොට දුප්පත් පවුල්වලට සේවය කළා.

පැයකට වාහන හතරක් පහක්වත් යන්නෙ නැති ඇමෙරිකාවේවත් නැති තරම් අධිවේගී මාර්ග කිහිපයක් රාජපක්ෂලා හම්බන්තොට ඉදිකළා. සම්මන්ත්රණ නැති සම්මන්ත්රණ ශාලා හැදුවා. ක්රිකට් ගහන්නෙ නැති ක්රීඩාංගණයක් හදලා. අපි එනතුරු නැව් එන්නෙ නැති වරායක් තිබුණා. ගුවන්යානා එන්නෙ නැති ගුවන්තොටුපොළක් තිබුණා. නමුත් සජිත්ට චෝදනා කරන අය මොකද කළේ. උදාහරණයක් විදියට කෝට්ටේ ආසන සංවිධායකවරයා වශයෙන් ඉඳලා දිගින් දිගටම පැරදිලා අන්තිමට පැනලා ගිහින් පොල්ලෙල්ලක් දැම්මත් එජාපය දිනන උතුරු කොළඹට යනවා.

ඔබ ඔය කවුරු ගැනද කියන්නේ?

නම් ඕන නෑනේ.

ඇයි නම නොකියන්නේ?

එයා මගේ හොඳම මිත්රයෙක්. කොච්චර මිත්රද කියනවා නම් ඔබතුමියලත් දැක්කා අපි අපේ අමාත්යාංශ මාරු කරගන්න වෙලාවේ එතුමා විදේශ ඇමැතිවරයා වෙද්දී මම එතුමාට ලොකු හාද්දකුත් දුන්නා.

ඒ තරම් කිට්ටුවෙන් සිටි ඔබ දෙපළට මොකද වුණේ?

මට තියෙන කනගාටුව තමයි අපි අර ව්යායාම කරනකොට ඇඟෙන් දාඩිය පෙරෙනවා වගේම එතුමා කට ඇරියොත් මුළු ඇඟෙන්ම වෛරය, ක්රෝධය, ද්වේෂය ගලාගෙන එනවා. ඊට වඩා කියන්න දෙයක් නෑ.

ඔබ වත්මන් මුදල් ඇමැති. නමුත් ඔබ සාමාන්ය පෙළ ගණන් විෂය අසමත් බවට ඔබ කියන පුද්ගලයා චෝදනාවක් කරනවා?

මං කවදාවත් මං ගැනවත් මගේ වරිගෙ ගැනවත් වර්ණනා කරගන්න වඳුරෙක් නෙමේ. නමුත් එතුමාට පුළුවන් රාජකීය විද්යාලයේ 1972 සාමාන්ය පෙළ විභාගයේ තියෙන ප්රතිඵල ගැන දැනගන්න. අද වුණත් ඇති මං හිතන්නේ. මගේ ප්රතිඵල එතුමාට බලාගන්න පුළුවන්.

ඇමැති රවි කරුණානායක ඔහුගේ අධ්යාපන හා වෙනත් සුදුසුකම් මාධ්යයට විවර කරමින් අභියෝග කළා, අනෙක් මැති ඇමැතිවරුනුත් තමන්ගේ සුදුසුකම් හෙළිකරන ලෙස. එහි වරදක් නෑ නේද?

ඒකෙන්ම පේනවා ඔහුට ලොකු හීනමානයක් තියෙනවා කියලා. සජිත් ප්රේමදාස කියන්නේ මෙහෙ විතරක් නෙමේ එංගලන්තයේ ඉතා ඉහළම පෞද්ගලික පාසලකට ගිය කෙනෙක්. පෞද්ගලික විශ්වවිද්යාලයකට ගිය කෙනෙක්. ඒකට ඊර්ෂා්යව ඒකයි. එතුමා හැම වෙලාවෙම මම, මම, මම කියලා කතා කරන කෙනෙක්. ඔය ආසියාවේ හොඳම මුදල් ඇමැති ලෙස පට්ටමක් දුන්නා කියන අය කවුද කියලාවත් අපි දන්නේ නෑ. නමුත් එතුමා කැමැති නම් එතුමාගේ කතාවටම මුවා වෙන්න ඒක එයාගේ වැඩක් මිස අපේ වැඩක් නොවේ.

නමුත් පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ අධ්යාපන සුදුසුකම් හෙළි කළොත් බහුතරයකගේ නිරුවත හෙළිවීම වළක්වන්න බැරි හින්දා ද මෙච්චර බය?

කවුරුත් බය නෑ. මගේ අධ්යාපන සුදුසුකම් ඕනෑ කෙනකුට බලාගන්න පුළුවන්. කොළඹ රාජකීය විද්යාලයෙන් ඕ ලෙවල් ප්රතිපල ගන්න පුළුවන්. එංගලන්තයේ සෙන්ට් මාටින්ස් විශ්වවිද්යාලයෙන් මගේ උපාධියේ විස්තර ගන්න පුළුවන්.

සමාජයේ ප්රබල මාතෘකාවක් බවට පත්ව තිබෙනවා, ඊළඟ පාර්ලිමේන්තුවට අනිවාර්යයෙන්ම උගත්, බුද්ධිමත් තරුණ කණ්ඩායමක් පත්කළ යුතු බව. එවැනි තත්ත්වයක තම තමන්ගේ සුදුසුකම් හෙළි කිරීම වඩාත් සුදුසුයි නේද?

ඒක හොඳයි. බුද්ධිමත් කියන්නේ විභාග පාස්වෙලා විතරක් නොවේ ඒකත් මතක තියාගන්න. ඔය කියන තර්කය උඩ කවදාවත් ඩී.එස්. සේනානායකලා, සිරිමාවෝ බණ්ඩාරනායක, මැතිනිලා, ඩබ්ලිව්. දහනායකලා පාර්ලිමේන්තුවට එන්නෙ නෑ. ඒ අය විභාග පාස් වුණත් නැතත් ජනතාවට දැවැන්ත සේවයක් කරපු අය. විභාග පාස් වෙන තරමට හොඳයි.

නමුත් ඊට වඩා ඒ අයගෙ පසුබිම බලන්න ඕනෑ. මොකද අද වෙද්දී ක්රම ක්රමයෙන් පාතාලය විසින් ආක්රමණය කරමින් තියෙනවා. මට මතකයි 1989දී ප්රථම වතාවට මනාප ක්රමය ගෙනෙද්දී එජාපයේ තරුණ මන්ත්රිවරයෙක් කතා කරලා කිව්වා, මේ ක්රමය වැඩිදුරටත් ඉස්සරහට ගියොත් වැඩි කලක් නොගිහින් පාර්ලිමේන්තුව කුඩුකාරයන්, පාතාලකාරයන් විසින් ආක්රමණය කරන බව.

දැන් සිදුවෙමින් තිබෙන්නෙ එය නේද?

ඇත්තෙන්ම ඔව්. අද දේශපාලනය කරන්න හැම කෙනකුටම විශාල මුදලක් ඕනෑ. පිටරට මැතිවරණයකදී වියදම් කළ හැකි සීමා පනවලා තිබෙනවා. නීති රීති තියෙනවා. අපිට ඡන්ද කරද්දී විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලැබෙනවා. එයට විනිවිදභාවයක් අවශ්ය බව ලෝකයම පිළිගන්නවා. නමුත් ලංකාවේ එවැනි නීතියක් නෑ.

මම මෙවැනි චෝදනාවක් කරනවා. එදා සිට අද දක්වා බලයට පත් මැති ඇමැතිවරු රටේ මුදල් කොල්ලකෑවේ නැත්නම් අද රටට මෙවැනි අහේනියක් සිදුවන්නේ නෑ නේද?

ඒ එකක්. ඒක වැදගත් අංගයක්. නමුත් ඒ නිසාම නොවේ. ඊට වඩා බැරෑරුම් සංකීර්ණ හේතු තියෙනවා. වංචාව, දූෂණය බරපතළ පිළිකාවක්. හැම ආණ්ඩුවක්ම රටේ බලයට පත්වන්නේ දූෂිතයන්ට විරුද්ධව දඬුවම් කරන්න. 1994 අපි කිව්වා දූෂිතයෝ ගෝල්ෆේස් පිටියට ගෙනත් දඬුවම් දෙන බව. හැබැයි බලයට ආවයින් පසු ඒවා කෙරෙන්නේ නෑ. දූෂණය ඒ ආකාරයටම ඉදිරියට යනවා. අතීතයේ දූෂිතයන්ට එරෙහිව කටයුතු කරන ගමන්ම ආණ්ඩුවක් හැටියට අපි අනාගතයේදී දූෂණ නොවෙන්න තද නීති රීති ගෙනෙන්න ඕනෑ. පරණ ආණ්ඩුවේම දූෂණ විතරක් කරලා වැඩක් නෑ.

සජිත් ප්රේමදාස අපේක්ෂකයා ලෙස ප්රකාශ ඉදිරිපත් කිරීමට යෑමෙන් ඔබ විවිධ චෝදනාවන්ට ලක්වුණා. ඔබ සජිත් ප්රේමදාස වෙනුවෙන් පෙනී සිටිනවා. නමුත් ඔබ චෝදනාවට ලක්වෙද්දී ඔහු ඔබ වෙනුවෙන් පෙනී සිටින්නේ නැද්ද?

සමහර වෙලාවට අපි ප්රසිද්ධියේ කරන දේවලුත් තියෙනවා. අප්රසිද්ධියේ කරන දේවලුත් තියෙනවා. මම දන්නවා සජිත් මම විශේෂයෙන්ම ඉතා අභියෝගාත්මක ප්රශ්නවලදී මං වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා.

මං අහන්නෙ මේ මොහොතේදි?

මේ මොහොතෙදි ප්රසිද්ධියේ මං වෙනුවෙන් පෙනී සිටින්න දෙයක් නෑ. ඔය කියන චෝදනාවලට උත්තර තියෙන්නේ මට විතරයි.

ඔබ රටේ ජනාධිපතිවරු බිහි කරන්න වගේම ජනාධිපතිවරු බලයෙන් පහ කරන්න බොහෝ මැදිහත්වීමක් කළ අයෙක්. ඔබට නැද්ද ජනාධිපති වීමේ සිහිනයක්?

මොකෝ නැත්තේ. හැම දේශපාලනඥයාටම ජනපති වීමේ සිහිනය තිබෙනවා. නමුත් ඒක ප්රායෝගික නැහැනේ. ලංකාවට අවශ්ය වන්නේ මම වැනි විශේෂයෙන් මානව හිතවාදී ලිබරල් නායකයෙක්. එවැනි කෙනෙක් ඉඳලා නෑ. නමුත් ඒක සිහිනයක් විතරයි. ඒ සිහිනය යථාර්ථයක් කරන්නට හැමෝටම බෑ. ඒ සිහිනය කරා යම් කිසි දුරක් හෝ යන්නට පුළුවන් කෙනෙක්ට සහාය දෙන්න ඕනෑ.

ඔබේ පක්ෂයේත් ජනාධිපති සිහින දකිමින් කිහිපදෙනෙක් ඉන්නවා නේද?

අපෝ ඉන්නවා.

කරු ජයසූරිය, චම්පික රණවක, ලක්ෂ්මන් කිරිඇල්ල වැනි අය නේද ඒ උත්සාහයේ නියැළෙන්නේ. මොකද ඒ අය ගැන හිතෙන්නේ?

කරු ජයසූරිය කථානායකතුමා ශ්රේෂ්ඨ පුද්ගලයෙක්. එතුමාගේ ශ්රේෂ්ඨත්වය තව තවත් ඔප්පු කළා දින 52 කුමන්ත්රණ ආණ්ඩුව කාලේ. එතුමා මරණීය තර්ජන මැද ව්යවස්ථාවේ ගරුත්වය රැක අද මුළු ලෝකයේම ගෞරවයට පාත්ර වුණා. නමුත් අපි කැමැති වුණත් අවසානයේදී ඡන්දය දිනන්න ඕනෑ. ජනතා හඬට හිස නමන්න ඕනෑ. මේ මොහොතේ තිබෙන ජනතා හඬ තමයි සජිත්.

මේ වනවිටත් එක වේලක් කන්න නැති ජනතාවක් ඉන්න රටක් ලංකාව කියන්නේ. එවැනි රටක අගමැති ගමේ අයට ජිම් කට්ටල ලබාදෙන්න යෝජනා කරනවා. ජනතාවගේ අත්යවශ්යම දේවත් නොහඳුනන කෙනෙක්ද මෙච්චර කල් අගමැති විධියට රට පාලනය කළේ?

ජිම් කට්ටල දෙන එකේ කිසිම වරදක් නෑ.

මං ඇහුවේ ජන ජීවිතයේ ප්රායෝගික තත්ත්වය?

ඔය කියන විධියට ලංකාවේ නම්, මම එකක් කියන්නම් කවුරුත් බඩගින්නෙ මැරෙන්නෙ නෑ. එවැනි තත්ත්වයක් අද මේ රටේ නෑ.

එතකොට මාස ගණනක දරුවෙක් පසුගියදා මන්දපෝෂණය වැලඳිලා හම්බන්තොට මියගියේ කොහොමද?

හරියට හරි. හම්බන්තොට කියන්නෙ එතකොට ඔය අවුරුදු 10ක් රජවරු හැටියට හිටපු දිස්ත්රික්කයේ මන්දපෝෂණය කියෙනවා නම් අපට ඒ අයගේ සංවර්ධනය ගැන හිතාගන්න පුළුවන්නේ. නමුත් ඒ මන්දපෝෂණයටත් අපි අද උත්තර දෙන ගමන් ඒකම කියලා අපිට එතැනම ඉන්න බෑ.

රාජ්ය මුදල් විශාල වශයෙන් වැය කරමින් මේ දිනවල ඔබ සංවේදී අය-වැයක් බව කියා වෙළෙඳ දැන්වීමක් පළ කරනවා. ඇත්තටම ඔය කියන තරම් අය-වැය සංවේදී නම් ජනතාවට එය දැනෙන්න ඉඩදෙන්න එපැයි. මොකටද වෙළෙඳ දැන්වීම්?

ඔය කියන තරම් මහා මුදලක් වැය වෙන්නේ නෑ.

ඊට වැය කරන්නේ රාජ්ය මුදල් නිසා අපට අහන්න අයිතියක් තිබෙනවා. ඇත්තටම ඒ වෙළෙඳ දැන්වීම්වලට යන වියදම කොපමණද?

ඇත්තටම දැන් මතක නෑ. ඔබට අහන්න අයිතියක් තිබෙනවා. නමුත් ලෝකෙ හැම රටකම රජයක් කරන සංවර්ධන කටයුතු ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා අනිවාර්යයෙන්ම මුදලක් වියදම් කරනවා. ඒක ප්රතිශතයක් හැටියට ගත්තොත් ඉතාමත් සුළු මුදලක්.

ඇත්තටම අපිට තියෙන චෝදනාව තමයි මේ තරම් වැඩ කරන ආණ්ඩුවක් ජනතාවට ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්නෙ නැහැයි කියන චෝදනාව. ඒ නිසා මේ දැනුවත් කිරීම්වලට මීට වඩා වැඩි මුදලක් වැය කළත් පාඩු නැහැ කියලා මං හිතන්නේ. මේ රටේ ඒ ක්ෂේත්ර තුළ වර්ධනය ගැන ජනතාව දන්නෙ නෑ.

රටේ දැවැන්ත සංවර්ධනයක් ගැන ඔබ කතා කරනවා. නමුත් කුණු කන්ටේනර් පිටින් කොහොමද මේ රටට ගොඩබාන්න කටයුතු සැලසුණේ. මෙය ඔබේ අමාත්යාංශයට අයිති කරුණක්?

ඇත්තටම එය මටත් ප්රශ්නයක්. ඒක දැනගත්ත ගමන්ම මම පිටරට සිට රේගු අධ්යක්ෂ ජනරාල්තුමියගෙන් වාර්තාවක් ඉල්ලුවා. අපිට ආරංචි හැටියට මේ කුණු කන්ටේනර් ගෙන්නන්න යෝජනා කරලා තියෙන්නේ රාජපක්ෂ සමයේදී. නමුත් එය අද ලංකාවට ගෙන එන්න ඉඩදීම නිදහසට කරුණක් නොවේ.

අපි දන්නවා පිටරටකට ගියොත් හරියට සීල් නොකරපු කෑම පාර්සලයක් තිබුණත් ඒකට දඩ ගහනවා. නැත්නම් ඒ අය ඒක භාර ගන්නවා. මේ වගේ කුණු කන්ටේනර් ලංකාවට ගෙන එන්න ඉඩදුන් පුද්ගලයෝ කවුද කියලා මම හොයා බලනවා. ඒ වගේම ඒ ගෙනාපු අය කවුරු වුණත් කමක් නෑ ඒ අයට නීතියෙන් දඬුවම් කරන්න ඕනෑ.
UNP matara FB page

About freddy

Check Also

171026-saman-1

කට්ට කාලයි මෙතනට ආවේ අපට මෙහෙම කරන්න එපා සිඳූ ටෙලියේ රෙජී – සමන්ත ගමගේ කනගාටුවෙන් කියයි

  රංගන ශිල්පියකු ලෙස අප ඔහුව හැඳීන්වුවත්, ඔහු පවසන්නේ තවමත් ඔහු රංගන ශිල්පියකු වන්නට උත්සාහ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *