Home / News / මාතර ගිනිනිවන ඒකකය වල්ගම ගින්නටත් පිදුරු දමයි !

මාතර ගිනිනිවන ඒකකය වල්ගම ගින්නටත් පිදුරු දමයි !

matara fire issue 1ගරැ නගරාධිපතිතුමනි,

අදට සති දෙකකට පමණ කලින් මාතර, වල්ගම, ගාලූ පාරේ පෞද්ගලික ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තා. එම ගින්නත් මාතරට එතුකලේ කණගාටුදායක අත්දැකීමක්.

මම මෙයට පෙරත් මාතර මහා නගර සභාවේ ගිනි නිවන ඒකකය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමුකලා. නමුත් එයින් ප්‍ර‍තිඵලයක් අතවී ඇති බවක් නම් පෙනෙන්නේ නැහැ. අපේ ගිනි නිවීම් ඒකකයේ පරිපාලනය බරපතල ලෙසින් කඩා වැටිලා. මෙය බරපතල තත්වයක්. මෙයට වසර හය හතකට කලින් සිදුවූ අනතුරක් නිසා අපේ ප්‍රධාන ගිනි රථයක් විනාශවුනා. පරීක්ෂණය යට ගැහුවා. අද එම ගිනි රථය පැයට කි.මී. 30-40ට වඩා වේගයකින් යන්න බැහැ. ඊට වඩා හොඳ පරණ ලොරි කබල් තිබෙනවා.

මෙයට මාස කිහිපයකට කලින් හෙලිවූ බරපතල වංචාව ගැන මොකද වුනේ? ඒකත් දැන් ඉවරයි. අපේ සභාවේ නමින් හොර බැංකු ගිණුම් විවෘතකලා, ව්‍යාජ රබර් සීල් කැපුවා, හොර සහතික නිකුත්කලා, විශාල මුදලක් වංචාකලා. හැබැයි සභාව නිහඩයි. ඉතිං මේ වගේ පරිපාලනයකින් ගිනි නිවන ඒකකයට සෙතක් වෙයිද?

වල්ගම ගින්නේ ඇත්ත කථාවත් මේ කථාවේම දිගුවක්. මේ සභාවේ ගිනි නිවන රථ පුද්ගලික ගෙවල් පවා සෝදන්න යනවා, ටැංකිවලට වතුර පුරවන්න යනවා. මොනතරම් අදූරදර්ශී ක්‍රියාවක්ද මේ? පසුගිය වසරේ 2018 ජනවාරි මාසයේ ගරු ජනාධිපතිතුමා මාතරට එනකොට පලාත්පාලන මැතිවරණ කාලය නිසා යැයි කියමින් එතුමාගේ ආරක්ෂාවට ගිනි රථ දීමත් කොමසාරිස්තුමා විසින් එදා ප්‍රතික්ෂේප කලා. එතුමා මාතරට ආවේ අපිට විරුද්ධ පක්ෂයක රැලියකට. නමුත් එතුමා රාජ්‍ය නායකයා ලෙසින් ඔහුට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමේ වැඩසටහනට අපි සහාය දිය යුතු බවයි මගේ අදහස. ඒක වගකීමක්.

ඒත් මේ වසරේ 2019 දි මෙයට සති දෙකකට පමණ කලින් නැවතත් ජනාධිපතිතුමා මාතරට ආවා. ‘මතින් නිදහස් රටක්’ කියන වැඩ සටහනට. මේ ගින්න ඇතිවෙන්නේ එයට දිනකට දෙකකට කලිනුයි. හැබැයි මෙදා නම් අපේ කොමසාරිස්තුමා ඇඟෙන්ම වැඩකලා. ගිනි නිවන රථ යොදවලා මෙදා නම් ජයසූරිය ක්‍රීඩාංගනයේ කාණු ටිකත් සේදුවා. මණ්ඩපය සේදුවා. පොකුණට අලුත් ජලය පවා පිරෙව්වා. ගිනි භටයෝ ඔක්කොම පරවැඩ වල යෙදෙව්වා. කොහොමද වැඩේ? මෙන්න මේ අස්සේ තමයි වල්ගම ගින්න හට ගන්නේ. ජයසූරිය ක්‍රීඩාංගනයේ ඉඳන්, වල්ගම ගින්න ලඟට යන්නේ වතුර ටැංකි කාලක්වත් නැති බවුසරය. ඉතිං කොහොමද ගිනි නිවන්නේ.

එදා 2018 ජනවාරි, පරිපාලන නිළධාරීන්ගේ සංගමයේ සභාපති තුමා පත්තරයකට කියලා තිබුනා ‘නාගරික කොමසාරිස්තුමා සියයට සියයක්ම හරි’ කියලා. මට එතුමාගෙන් නැවත අහන්න වෙනවා 2019ත් නාගරික කොමසාරිස්තුමා සියයට සියයක්ම හරිද?’ කියලා. නගරාධිපති තුමනි, මේවා බොරු රඟපෑම් විතරයි. මේ පහත් හැසිරීම් මම නම් ප්‍රතික්ෂේප කරනවා.upul nisa

ඒ වගේම මෙදා ජනාධිපතිතුමා එන්න දින දෙකකට කලින් චම්පික රණවක අමාත්‍යතුමා මාතරට එනවා. ඔහු නාගරික සංවර්ධන අධිකාරිය භාර අමාත්‍යවරයා. එය අපිට සමීප ආයතනයක්. ඔවුන් මාතර වෙරළ උද්‍යානයේ පැල සිටුවීමේ වැඩසටහනක් සංවිධානය කලා. එම පැලවලට දැමීමට අපෙන් වතුර බවුසරයක් ඉල්ලූවා. ගිනි නිවන අංශයේ බවුසරයක් නොවෙයි. සාමාන්‍ය බවුසරයක්. මේ සභාවේ ඉහලම නිළධාරියෙක් එය මගහැරියා. මේ වැඩ හරිම කැතයි. බාල දේශපාලනය නිළධාරීන් ඇඟට ගන්න යන්න එපා. මම නම් විශ්වාස කරන්නේ නැහැ ජනාධිපතිතුමාවත් මේවා අනුමතකරාවි කියලා.

ගින්න ඇතිවූ ගොඩනැගිල්ලේ තිබුන සමහර වාහන කොටස්වල ගෑස් සහිත වායු සමීකරණ පද්ධති තිබුනා. ඒවා කාන්දුවෙන්න පටන්ගත්තා. ගින්න තව වැඩිවුනා. ගෑස් ගින්නක් වතුරෙන් නිවන්න බැහැ. ඒකට ‘ෆෝම්’ කියන රසායන දියරය අවශ්‍යයි. ඒවා ගෙනියන්න තියෙන්නේ ගිනි නිවන කැබ් රථයේයි. කැබ්රථය සුපුරුදු පරිදි පුද්ගලික ගමණක් ගොසින් තිබුනා. එය දිගු කලක සිට තවමත් පුද්ගලික පාවිච්චියේ තියෙන්නේ ඔබ දන්නවා. අවසානයේ ගිනි බටයන්ට සිදුවුනා මේ සඳහා වෙනත් වාහනයක් යොදා ගන්න. දුරකථන ඇමතුම් දුන්නත් කැබ් රථය එයට උත්තර දුන්නේ නැහැ. අවසානයේ සභාවේ ට්‍රක් රථයකට මෙම ‘ෆෝම්’ බැරල් පැටවූවා. ගිනි නිවන රථයක නොවන නිසා එහි සයිරන් තිබුනේ නෑ. පොලිසිය ගින්න දෙසට යන්න දුන්නේත් නෑ. අතර මග නවතමින් යන්තමට ට්‍රක් රථය ගිනි ගන්නා ගොඩනැ`ගිල්ල ල`ගට ගියා. ඒත් කැබ් රථයෙන් වගේ නොවෙයි, ට්‍රක් රථයෙන් ‘ෆෝම්’ බැරල් බිමට බානවිට ඇදන් වැටිලා ඉහිරුනා. අලාභයයි, නරක නාමයයි, විනාශයයි විතරක් ඉතිරිවුනා. අඩුම තරමේ ගිනි නිවන ඒකකයේ ඉනිමඟ පවා වෙනත් කටයුතුවලට අරන් ගිහින් තිබුනා.

මෙම තත්වය නිසා මෙදා පාරත් ගාල්ලේ ගිනි නිවන ඒකකය කැඳවන්නට සිදුවුනා. මෙම මගේ ප්‍රකාශයේ ඇත්ත නැත්ත තවදුරටත් තහවුරු කරන්න, මෙම ගින්නට අදාලව ‘ගිනි කැඳවීමේ ගාස්තු ගෙවීම’ යන හිසින් යුතු ගාල්ල මහා නගර සභාවේ නාගරික කොමසාරිස් නමට යොමුකල ලිපියේ ඡායා පිටපතක් කියවන්නම්. ‘මාතර වතුර බවුසර් නැතුව පැයක් පමණ කාලයක් ගතවුනා. එම නිසා ගින්න මර්ධනය කිරීමට ගාල්ලෙන් ගෙන්වීමට සිදුවුනා’ යනුවෙන් එහි පාද සටහනක තබා තිබෙනවා.

අඩුම ගණනේ වගකිවයුත්තන් කොටුවේගොඩ ගින්නේ අත්දැකීමවත් ගත්තේ නැහැ. අපි කොයි තරම් කීවත් අහන්නේත් නැහැ. බොරු රඟපෑම් විතරයි. ඇත්තටම කවුද මේවායේ වගකීම භාරගන්නේ? මේ අනාරක්ෂිත තත්වයට පත්කරන්නේ මාතර ජනතාව නේද? මාතරට මොකද මේ වෙන්නේ!

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *