Home / Articles / ශ්‍රී ලංකා පොලීසියේ ලිංගික අසහනකාරයින්ට!

ශ්‍රී ලංකා පොලීසියේ ලිංගික අසහනකාරයින්ට!

44047540_10216040852231338_6374202895759310848_nමාතර වෙරළ තීරයේ පෙම්වතුන් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් රථයට පටවාගෙන යන ඡායාරූපය යළි යළිත් පවසන්නේ මේ පාරාදීසය තවමත් ගෝත්‍රිකත්වයෙන් නොමිදුණු බවය.

පසුගිය කාලය පුරාම අප දකින්නේ කාන්තා පොලිස් නිළධාරීනියන් වාඩි කරවා හිස තෙල් ගල්වන පොලිස්පති කෙනෙකි. සෝපාන ක්‍රියාකරුවා කමිස කොලරයෙන් ඇද බලහත්කාරයෙන් භාවනාවට යොමු කරවන පොලිස්පති කෙනෙකි. “අත උස්සනවකෝ ; උපාධි අය නැද්ද ; ටිකක් හිනා වෙලා බලනවකෝ – අපායට ගහපු කැලැන්ඩර් වගේ නැතිව වගේ” යනුවෙන් පාසලක් තුළදී ගුරුවරුන් අමතන පොලිස්පති කෙනෙකි. පොලිස්පති ආසනයේ සිට ක්ෂේත්‍ර ධූරාවලියේ පහළ මට්ටම දක්වා ඇත්තේ පසුගාමී සහ ගෝත්‍රික මානසිකත්වයේ ලක්ෂණය ය. තම සීමාව හඳුනා නොගත් සර්කස් බල්ටිකරුවන්ගේ හැසිරීමය.

මිත්‍රවරුනි ; එය අද ඊයේ සිට නොව; එදා පටන් පොලිසියටම අනන්‍ය වූ නිහීන ලක්ෂණයකි.

1991 වසරේ කුලියාපිටිය පොලිසිය විසින් සිදු කළ සියවසේ මෙහෙයුමක් අවසානයේ සිනමා ශාලා දෙකක පෙම්වතුන් යුවළ 10-15 ක් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත ගෙනගොස් තිබිණ. නිල ඇඳුමේ බලය පෙන්වීම පිණිසම විනා නිසි ක්‍රියා පටිපාටියකින් තොරව සිදු වූ මෙම මෙහෙයුමේ දී රාත්‍රී කාලය තෙක් පොලිසියේ රඳවාගත් තරුණියන්ගේ නිවෙස් වලට කිසිම දැනුම්දීමක් නොකළ නිසා මහත් කලබගෑනියක් ඇති වී තිබිණ. මහමග ටයර් සෑ මත තරුණ තරුණියන් අඟුරු වුණු , අතරමග දී පැහැරගෙන ගොස් අතුරුදන් වූ යුගයේ උණුසුම නිවී නොතිබුණු දුරකතන, ප්‍රවාහන නොදියුණු යුගයක , තම දරුවන් නිවෙසට නොපැමිණි විට ඇතිවන තත්ත්වය පොලිසියට හැරෙන්නට සිහි බුද්ධිය ඇති ඕනෑම මනුෂ්‍ය ප්‍රාණියෙක්ට අවබෝධ විය යුතුය.

ඔවුන් අතර සිටි කුලියාපිටිය ලබුයායේ පදිංචි ; පුෂ්පා චාන්දි මේ සිදුවීම නිසා තම ගම තුළ බලවත් අපහසුතාවට ලක් වූවාය. එවකට අස්වැද්දුම සුභාරතී විද්‍යාලයේ සිසුවියක වූ පුෂ්පා, කුලියාපිටිය පොලිස් ස්ථානාධිපතිට මේ ලියුම ලියා තබා කණේරු කා මෙලොව හැර ගියාය.

පෙම් කිරීමේ “වරදට” අවමන් සහගත සැලකුම් ලැබූ පාසැල් සිසුවියක 1991 වසරේ දී කුලියාපිටිය පොලිස් ස්ථානාධිපතිට ලියූ මේ ලියමන , වර්ෂ 2018 වන විට සමස්ත පොලිස් පද්ධතියටම අදාල වන බව ඔබ නොසිතන්නේද ?

“සර් ඊයේ ගෙදර එන විට රාත්‍රී අටට පමණ ඇති. ඒත් සර්ලා කිව්වේ ගෙවල් වලට දන්වනවා කියලා. ඇයි දැන්නුවේ නැත්තේ ? අපි වගේ අය චිත්‍රපටියක් බලපුවම ඇති වැරැද්ද මොකක්ද ? ඒක සමහර විට අසෝබන වැඩක් නෙමෙයි නේද ? ඇයි ඒ ටික තේරෙන්නේ නැත්තේ ? මේ නිසා ගෙවල් වල මොන තරම් ප්‍රශ්න ඇති වෙලාද ? ඇයි ඒ දේවල් කරන්නේ ? සාමාන්‍යයෙන් පාරක දෙන්නෙක් අසෝබන ලෙස හිටියා නම් අල්ලගෙන ගියාට කමක් නෑ. ඇයි මේ වගේ දේකට පන්නන්නේ ? ඇයි ගෙස්ට් හවුස් වල කෙල්ලෝ කොල්ලෝ රෙදි නැතුව නටන නාඩගම් පේන් නැද්ද ? සුද්දො සුද්දියො නටන නාඩගම් පේන් නැද්ද ? ඔය සුලු වරදින් කී දෙනෙක් මරණයට පත් වෙයිද ? කමක් නෑ සර්. මං සමග ආවේ වීරරත්න. ඉතිං එයා තනියම එයි සෙනසුරාදට. සර් එන්න මගේ මළගෙදර සෙනසුරාදට.

සර් ඒත් ඔය පොලිසියේ ඉන්න අය ගැන අපි දන්නවා. ගෑණු ළමේකුට පාරක යන්න දෙන්නේ නෑ. ගෑණු ළමයින්ව අතරමං කරන්නේ පොලිස්කාරයෝ. මගේ අවසානය මෙසේ විසඳෙයි. අපේ ගෙදර අයට කරදරයක් කළොත් මම මළ යකෙක් වෙලා හරි ඉතුරු හරිය බලාගන්නවා.

ඉතිං සර් ඔබලගේ වරදින් තරුණ ජීවිතයක් අකාලේ පර වී යයි මෙසේ.

මේ විශ්වාසී
පුෂ්පා චාන්දි”

තරුණ ජීවිත වලට පාඩම් කියා දීම සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය තරම් සමත් ආයතනයක් මෙ මිහිමත නැත. ඒ බව අප දනිමු. 2009 වසරේ රාත්‍රියක අඟුලාන පොලිසිය විසින් අත් අඩංගුවට ගත් දිනේෂ් තරංග ප්‍රනාන්දු සහ ධනුෂ්ක උදයකාන්ත අපොන්සු නම් තරුණයින් දෙදෙනාගේ මළ සිරුරු ලුනාව පාලම සහ මුහුදු වෙරළ අසලින් හමු වූයේ පොලිසිය නිතරම ” ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” හෙවත් “ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලැබේ” යන පාඨයට අනුකූලව කටයුතු කරන බැවිනි.

විසාකේස චන්ද්‍රසේකරම් ලියූ “රජ සහ ඝාතකයා” පොතේ එක් තැනෙක “මුළු ලොවේ කුඩා තිතකිය මම” නම් ගීතයක් වේ. එහි අන්තරා කොටසේ මෙසේ ගැයේ.

ආදරයට නීති කුමට – වෛරය තහනම් නැති විට ?

ඉදින් අපි , වසර හැත්තෑවක කෙටි ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික පොලිස් සේවයෙන් මෙසේ අසමු.

ආදරයට නීති කුමට – වෛරය තහනම් නැති විට ?

-සහන් කසීර වික්‍රමසිංහ –

About freddy

Check Also

image_7655e8db3f

විදුලි සැර වැදුන තරුණයෙක් ජීවිතක්ෂයට

සිය ලොරි රථයේ ගමන් කරමින් සිටියදී විදුලිසැර වැදීමෙන් ගල්පොත්තයායේ පදිංචිව සිටි 33 වැනි වියේ පසු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *